අක්මාවට හානි වීම (සිරෝසිස්-cirrhosis)

සිරෝසිස් තත්ත්වය සුව කළ නොහැක. එම නිසා ප්‍රතිකාර මඟින් අරමුණු කරන්නේ රෝග ලක්ෂණ සහ සංකූලතා කළමනාකරණය කිරීම සහ තත්ත්වය බරපතළ අතට හැරීම වැළැක්වීමයි.

සිරෝසීස් තත්ත්වය බරපතළ අතට හැරීම වැළැක්වීමට ඔබට කළ හැක්කේ කුමක්ද

සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවකට වෙනස්වීම මගින් සිරෝසිස් තත්ත්වය වඩාත් නරක අතට හැරීම වළක්වා ගත හැකිය. එමඟින් ඔබට වැඩිදුර සෞඛ්‍ය ගැටළු ඇති වීමේ අවදානම ද අඩු කර ගත හැකිය. ජීවන රටාවේ වෙනස්කම්-සෞඛ්‍ය සම්පන්න ලෙස ජීවත් වීමට සහ තව දුරටත් සෞඛ්‍යය ගැටලු ඇතිවීමේ හැකියාව වළක්වා ගැනීමට, ඔබට සිදු කළ හැකි දේවල් විශාල ප්‍රමාණයක් ඇත:

  • ඔබගේ අක්මාවේ ප්‍රශ්නය මධ්‍යසාර හේතුවෙන් ඇති වූවක් නම් මද්‍යසාර භාවිතා කිරීමෙන් වලකින්න
  • ඔබගේ ශරීර ස්කන්ධය වැඩි නම් හෝ ඔබ ස්ථුල තාවයෙන් පෙළේ නම් ශරීර ස්කන්ධය අඩු කර ගන්න
  • මාංශපේශී ක්ෂයවීම වළක්වා ගැනීමට නිතිපතා ව්‍යායාම කරන්න
  • ඔබට අවසාදන තත්ව ඇතිවීමේ අවධානම අවම කර ගැනීමට හොඳ සනීපාරක්ෂක පුරුදු වලට හුරුවන්න
  • වෛද්‍ය නිර්දේශයකින් තොරව හෝ නිර්දේශිත ඖෂධ හෝ ඔබ භාවිතා කරනවානම් ඖෂධවේදියෙකු සමග හෝ ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කරන්න. මක්නිසාද යත් ඇතැම් ඖෂධ වල ක්‍රියාකාරීත්වය කෙරෙහි සිරෝසිස් තත්ත්වයෙන් බලපෑම් ඇතිවිය හැකිය

ආහාර රටාවේ වෙනස්කම්-සිරෝසිස් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ට මන්දපෝෂණය ඇති වීම සුලබ ය. එමනිසා ඔබගේ ශරීරයට අවශ්‍ය සියලු පෝෂ්‍ය පදාර්ථ ලබා ගැනීමට, සමබර ආහාර වේලක් ගැනීම වැදගත් වේ. තරල එකතුවීම හේතුවෙන් ඔබගේ දෙපා, පතුල් සහ උදරය ඉදිමීමේ අවදානම අවම කර ගැනීමට ලුණු භාවිතා කිරීම අඩු කිරීම මගින් උපකාරයක් ලැබේ. ඔබගේ අක්මාවට හානි වීම නිසා, ඔබට කෙටිකාලීන ශක්තිය සපයන ග්ලයිකෝජන් (glycogen) ගබඩා කර තබා ගැනීමේ හැකියාව නැති වේ. මේ නිසා, ආහාර වේල් අතරතුර ශරීරයට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට ශරීරය විසින් මාංශ පේශී පටකය භාවිතා කිරිම සිදු කරයි. මේ නිසා මාංශ පේශී ක්ෂයවීම සහ දුර්වල වීම සිදු වේ. එනම්, ඔබගේ ආහාර වේලට අමතර කැලරි ප්‍රමාණයක් සහ ප්‍රෝටීන් අඩංගු කළ යුතුය. ආහාර වේල් අතරතුර, අමතරව සෞඛ්‍යවත් කෙටි ආහාර ලබාගැනීම මගින් ඔබගේ කැලරි සහ ප්‍රෝටීන් අවශ්‍යතාවය සපුරා ගත හැකිය. දවසකට විශාල ආහාර වේල් එකක් හෝ දෙකක් ලබා ගැනීමට වඩා කුඩා ආහාර වේල් තුනක් හෝ හතරක් ලබා ගැනීම උපකාරී විය හැකිය. ඖෂධ - ඔබට අවශ්‍ය ඖෂධ, ඔබගේ අක්මාවට හානි වීමට පාදක වූ හේතුව මත රඳා පවතී. උදාහරණයක් ලෙස, ඔබට වෛරස් ආසාදිත හෙපටයිටිස් තත්ත්වයක් ඇතිවූයේ නම්, ඔබට ප්‍රතිවෛරස ඖෂධ නිර්දේශ කරනු ඇත.

රෝග ලක්ෂණ සමනය කිරීම

සිරෝසිස් තත්ත්වයේ රෝග ලක්ෂණ සමනය කිරීමට ඇති ප්‍රතිකාර ලෙස:

  • ලුණු අඩුවෙන් අඩංගු ආහාර හෝ මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ භාවිතා කිරීම මගින් ඔබගේ ශරීරයේ තරල ප්‍රමාණය අඩු කිරීම
  • ඔබගේ යාකෘතික ප්‍රතිහාර ශිරාවේ(අන්ත්‍රයේ සිට අක්මාවට රුධිරය පරිවහනය කරන ප්‍රධාන ශිරාව) අධි රුධිර පීඩනය අඩු කිරීම සඳහා ඖෂධ භාවිතා කිරීම
  • කැසීම අඩු කිරිමට ආලේපන භාවිතා කිරීම

සංකූලතා කළමනාකරණය කිරීම

ඔබට බරපතළ මට්ටමේ සිරෝසිස් තත්ත්වයක් තිබේනම් එමගින් ඇති වන සංකූලතා සඳහා ප්‍රතිකාර අවශ්‍ය විය හැකි ය. ගල නාලයේ ශිරා ඉදිමීම-ඔබට රුධිරය වමනය වනවා නම් හෝ ඔබගේ මලපහ සමග රුධිරය පිටවනවා නම්, ඔබගේ ගලනාලයේ (උගුරේ සිට ආමාශය දක්වා ආහාර ගමන් කරන නාලය) ඇති ශිරා ඉදිමී ඒවායින් රුධිරය කාන්දු වනවා විය හැකිය. මෙය ගලනාලයේ නහර ගැට ගැසීම ලෙස හදුන්වයි.(oesophageal varices). ඔබට ගලනාලයේ නහර ගැට ගැසීමේ තත්ත්වයක් පවතිනවා නම්, ඔබට ඉක්මන් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වේ. ගලනාලයේ නහර ගැට ගැසීමේ රෝග තත්ත්වය විනිශ්චය කර ගැනීමට එන්ඩස්කොපි(endoscopy) පරීක්ෂණය යොදා ගනී. පරීක්ෂණය අතරතුර දී, රුධිර වහනය වීම වලක්වා ගැනීමට සහ ඉදිමීම අවම කර ගැනීමට ප්‍රතිකාර ක්‍රම ගණනාවක් යොදා ගත හැකිය. එසේම, රුධිර වහනය වීමේ අවදානම අඩු කර ගැනීමට, ප්‍රොප්‍රනලෝල් (propranolol)හෝ කාවෙඩිලෝල් (Carvedilol)වැනි බීටා බ්ලොකර්ස් නමින් හඳුන්වන හදුන්වන ඖෂධ වර්ගයක් ඔබට ලබා දෙනු ඇත. උදරයේ සහ දෙපා වල තරල එකතු වීම-ඔබගේ උදර ප්‍රදේශයේ හෝ දෙපා සහ වළලුකරවල තරල එකතු වීම බරපතළ සිරෝසිස් තත්ත්වයේ සුලබ සංකූලතාවය කි. ඔබගේ ආහාර වල ලුණු ප්‍රමාණය අඩු කිරිම සහ ස්පයිරෝනෝලැක්ටොන් (spironolactone) හෝ ෆියු රෝසමයිඩ් (furosamide) වැනි මුත්‍රා පිට කිරීම වැඩි කරවන ඖෂධ (diuretic tablets) ලබා ගැනීම ප්‍රධාන ප්‍රතිකාර ක්‍රම වලට අයත් වේ. ඔබගේ උදර ප්‍රදේශය වටා ඇති තරලය ආසාදනයට ලක්වුවහොත් ඔබට ප්‍රතිජීවක ඖෂධ අවශ්‍ය වේ. වඩාත් බරපතළ තත්ත්ව වලදී, බටයක් මඟින් ඔබගේ උදරයේ එකතු වී ඇති තරලය ඉවත් කිරීමට සිදුවිය හැකිය. මොළයේ රෝග එන්සෙෆලොපති (encephalopathy)- ඇතැම් අවස්ථා වලදී, සිරෝසිස් තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයන්ගේ මොලයේ ක්‍රියාකාරිත්වයට ගැටලු ඇති විය හැකිය එන්සෙෆලොපති. රෝග ලක්ෂණ ලෙස ව්‍යාකූලත්වය, අධික නිදි මත සහ අවධානය යොමු කිරීමේ ගැටලු ඇති විය හැකිය. අක්මාව මගින් නිසි පරිදි විෂ හරනය සිදු නොවීම නිසා මෙය සිදුවේ. එන්සෙෆලොපති තත්ත්වයට ප්‍රධාන ප්‍රතිකාරය ලෙස ලැක්ටුලෝස් සිරප්/lactulose syrup භාවිතා කරයි. මෙය විරේක කාරකයක් ලෙස ක්‍රියාකරමින් ශරීරයේ එකතු වූ විෂ ඉවත් කිරීමට උපකාර කරයි. එයට ප්‍රතිචාර නොදක්වන අවස්ථා සඳහා ප්‍රතිකාර කිරීමට,රිෆැක්සිමින් ( rifaximin )නම් ප්‍රතිජීවක ඖෂධයක් භාවිතා කරයි. රුධිර හානි වීම-සිරෝසිස් තත්ත්වය නිසා අක්මාව මගින් රුධිරය කැටි ගැසීමට අවශ්‍ය කරන සාධක නිපදවීම අඩාල කරයි. එමනිසා ඔබට කැපුම් තුවාලයක් ඇති වූ විට අධිකව රුධිර වහනය වීමේ අවදානම වැඩි වේ. හදිසි තත්ව වලදී රුධිර වහනය සඳහා ප්‍රතිකාර ලෙස, විටමින් K සහ ප්ලාස්මාව නම් රුධිරයේ කොටස ලබා දිය හැකි ය. රුධිර වහනය වන කැපුම් තුවාල වලට පීඩනයක් යෙදීම සිදු කළ යුතුය. දත් සම්බන්ධ ප්‍රතිකාරද ඇතුළත්ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පෙර ඔබ විශේෂඥ උපදෙස් ලබා ගත යුතුය.

අක්මාව බද්ධ කිරීම

කැළැල් ඇතිවීම නිසා ඔබගේ අක්මාවට දැඩි ලෙස හානි වී ඇත්නම්, එහි ක්‍රියාකාරීත්වය ඇණහිටිනු ඇත. මෙවැනි තත්ත්වයක දී එකම විසදුම අක්මාවක් බද්ධ කිරීමයි. මෙය, ඔබගේ අක්‍රිය වූ අක්මා කොටස් ඉවත් කර, එය නිරෝගී දායක අක්මා කොටසකින් ප්‍රතිස්ථාපනය කිරීම ඇතුලත් වන විශාල ක්‍රියා පටිපාටියකි. අක්මා කොටසක් ප්‍රදානය කිරීමට කැමැති පුද්ගලයන් ප්‍රමාණයට වඩා අක්මාවක් බලාපොරොත්තුවෙන් සිටින පුද්ගලයන් ප්‍රමාණය අධික නිසා ඔබට අක්මා බද්ධය සඳහා බොහෝවිට දිගු කාලයක් බලා සිටීමට සිදු වනු ඇත. ඔබ තවමත් අධික ලෙස මත්පැන් පානය කරනවා නම් ඔබට අක්මා බද්ධයක් සිදු කර ගැනීමට නොහැකි වනු ඇත.

සිරෝසීස් සහ දියවැඩියාව

ඔබට 2 කාණ්ඩයේ දියවැඩියා තත්වයක්(type 2 diabetes) පවතින විට සිරෝසිස් තත්ත්වයක් ඇති වුවහොත්, ඔබගේ දියවැඩියා තත්ත්වය බරපතල වනු ඇත. එයට හේතුව සිරෝසිස් තත්ත්වය නිසා ඔබගේ ඉන්සියුලින් (රුධිර සීනි මට්ටම පාලනය කිරීම සඳහා සිරුර මඟින් නිපදවන හෝමෝනයකි) වලට තිබෙන ප්‍රතිරෝධය වැඩි කර විය හැකි බැවිනි. මෙය සිදු වුව හොත්, ඔබ එම ගම්‍යතා ඔබගේ වෛද්‍යවරයා සමඟ සාකච්ඡා කළ යුතුය.